[CONCEPT NOTE] ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය 2016 | ‘තොරතුරු හා මූලික නිදහස වෙත ප‍්‍රවේශය, මෙය ඔබගේ අයිතිය යි!’

සංකල්ප සටහන

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය[UNESCO]

තොරතුරු හා මූලික නිදහසවල් වෙත ප‍්‍රවේශය, මෙය ඔබගේ අයිතිය යි!

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය | 2016 මැයි 3

හැඳින්වීම

සෑම මැයි 3 වන දා ම පෘථිවි ගෝලය පුරා ම ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය සමරනු ලැබේ. එය වනාහි මාධ්‍ය නිදහස පිළිබඳ මූලික මූලධර්ම පෙරට ගැනීම සඳහාත් රාජකාරිය අතරතුර දී සිය ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන්ට විධිමත් ලෙස බුහුමන් දැක්වීම සඳහාත් ලැබෙන්නා වූ අවස්ථාවකි. 2016 දී ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය වැදගත් සන්ධිස්ථාන තුනක් සමග සම්පාත වෙයි:

 

  • නූතන ස්වීඩනය හා පින්ලන්තය ආවරණය කරමින් තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ ලොව පළමු නීතිය සම්මත කිරීමේ 250 වන සංවත්සරය
  • මාධ්‍ය නිදහසට අදාළ මූලධර්ම පිළිබඳ වින්ඞ්හෝක් ප‍්‍රකාශනය සම්මත කිරීමේ 25 වන සංවත්සරය
  • 2016 වසර නව තිරසර සංවර්ධන පරමාර්ථවල 15 වසරක ජීවන චක‍්‍රයේ පළමු වසර ද වේ

2016 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය ඩිජිටල් යුගයේ දී මාධ්‍ය නිදහස ද විවෘත භාවයේ සංස්කෘතිය ද තොරතුරු දැන ගැනීමේ නිදහස සඳහා ඇති අයිතිය ද තිරසර සංවර්ධනය ද අතර පවත්නා සම්බන්ධතා අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළ ය. මේ සියල්ල එකට බැඳ තබන හුයපට නම් මාධ්‍යවේදය ඉටු කරන කාර්ය භාරය ද මහජනතාව උදෙසා එකී සේවය ඉටු කරන්නන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද වන්නේ ය.
මේ වසරේ ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය එකිනෙකට වෙනස් දැක්මවල් තුනක් පදනම් කර ගෙන ප‍්‍රශ්න විමසා බලනු ඇත:

  • තොරතුරු දැන ගැනීමේ නිදහස මූලික නිදහසක් සහ මානව හිමිකමක් ලෙස සැලකීම,
  • පමණ ඉක්මවූ වාරණයෙන් හා සමීප නිරීක්ෂණයෙන් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම; සහ
  • ඔන්ලයින් හා ඕෆ්ලයින් මාධ්‍යවේදයේ සුරක්ෂිතතාව සහතික කිරීම

 

පසුබිම
ස්වීඩනය-පින්ලන්තය තුළ තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ ලොව පළමු නීතිය සම්මත කිරීම වූකලි ඓතිහාසික සන්ධිස්ථානයකි. එම නීතිය ගෝලීය පරිමාණව ප‍්‍රතිඵල අත් කර දී තිබෙන අන්තර් සම්බන්ධිත මිනුම් දඬු දෙකක් නීතිමය වශයෙන් පිළිගත්තේ ය: එනම්, (i)  පුරවැසියන්ට රාජ්‍යයේ මැදිහත් වීමකින් තොරව තම අදහස් පළ කිරීමට අයිතිය තිබිය යුතු ය යන්න සහ, විශේෂයෙන් ම වැදගත් කරුණ වන (ii) පුරවැසියන්ට රාජ්‍යය සන්තක තොරතුරු ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතු ය යන්න යි. මෙම දැක්මෙන් කියැවෙන්නේ රාජ්‍යය පුරවැසියන්ගේ තොරතුරු ක්ෂේත‍්‍රය සීමා කිරීම හෝ ඔවුන්ගෙන් තොරතුරු වසන් කිරීම නො කළ යුතු බව යි. මෙය වනාහි එක් අතකින් ප‍්‍රසිද්ධ සංවාදයට රාජ්‍යය කරන අත්තනෝමතික මැදිහත් වීමට සීමාවක් පනවන්නා වූ ද අනෙක් අතින් වග වීම සඳහා රාජ්‍ය බලයට ඇති වගකීම තව දුරටත් ශක්තිමත් කරන්නා වූ ද ආස්ථානයකි. කෙටියෙන් කිව හොත්, එය රාජ්‍ය වාරණයෙන් තොරව තොරතුරු පැතිරවීමට සමාජය නිදහස් කරන අතර තව දුර ඉදිරියට ගොස් රාජ්‍යය සමාජයේ සුපරීක්ෂාවට ද විවර කොට තබයි.
1991 වසරේ නැමීබියාවේ දී පුවත්පත් කලාවේදීන් වින්ඞ්හෝක් ප‍්‍රකාශනය (Windhoek Declaration)  පිළිගැනීම එක්සත් ජාතීන් ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය (World Press Freedom Day – WPFD)  පිළිගැනීමට තුඩු දුන්නේ ය. මෙම ප‍්‍රකාශනය පුවත්පත් නිදහස සමන්විත වන්නේ මාධ්‍ය නිදහසෙන්, බහුත්වවාදයෙන් හා ස්වාධීනත්වයෙන් බව අවධාරණය කළේ ය. සෑම වසරක දී ම මෙම දිනය ලොව වටා පාර්ශ්වකරුවන්ට මෙම අයිතිය සැමරීම හා ශක්තිමත් කිරීම සඳහා අවස්ථාවක් බවට පත් වේ.
එපමණක් නො ව, 2016 වසර 2015 දී සම්මත කර ගන්නා ලද අභිලාෂාත්මක නව තිරසර සංවර්ධන පරමාර්ථවල (Sustainable Development Goals – SDGs)  15 වසරක ජීවන චක‍්‍රයේ පළමු වසර ද වන්නේ ය. මාධ්‍ය නිදහස හා තොරතුරු සඳහා ඇති අයිතිය එම පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට ඍජුව ම අදාළ වන අතර එම පරමාර්ථ යටතේ මුදුන් පමුණුවා ගැනීමට අපේක්ෂිත වක‍්‍ර පරමාර්ථ ලෙස ද සැලකිය හැකි ය. තිරසර සංවර්ධන පරමාර්ථ එළඹෙන වසරවල දී බොහෝ ප‍්‍රතිපත්තිමය තීන්දු න්‍යාය පත‍්‍රයට ඇතුළු කරනු ඇත, සම්පත් සජීවීකරණය හා ගලා යාම කෙරෙහි බලපෑම් කරනු ඇත, සෑම පුද්ගලයෙකුගේ ම ජීවිත වැඩි දියුණු කරන දීර්ඝ කාලීන ක‍්‍රියාවලියක් තුළ දී මනුෂ්‍ය වර්ගයාගේ පොදු අවශ්‍යතා ඉස්මතු කර දක්වනු ඇත.
විශ්ලේෂණය
වෘත්තීය ප‍්‍රමිතීන් හා පොදු යහපත සිය මාර්ගෝපදේශකයා බවට පත් කර ගනිමින් අදහස් පළ කිරීමේ නිදහස සඳහා ඇති අයිතිය පාවිච්චි කරන විශේෂඥ ක්ෂේත‍්‍රයක් ලෙස මාධ්‍යවේදය ඉටු කරන කාර්ය භාරය හරහා මාධ්‍ය නිදහස ද තොරතුරු සඳහා ඇති අයිතිය ද තිරසර සංවර්ධනය ද යන මෙම අංග තුන එකිනෙකට සම්බන්ධ වේ. නිර්මාණාත්මක සංස්කෘතික අදහස් පළ කිරීම්වල විවිධත්වය ද මෙම සමීකරණයේ වැදගත් සාධකයක් වේ.
මෙම තක්සේරුව ඇරඹෙන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ (Universal Declaration of Human Rights) 19 වන වගන්තියෙනි. අදහස් පළ කිරීමේ නිදහස නමැති මූලික අයිතිවාසිකම තුළ ” ඕනෑ ම මාධ්‍යයක් හරහා සහ දේශ සීමාවන් නො තකා තොරතුරු හා අදහස් සොයා යාමේ, ලබා ගැනීමේ හා බෙදා හැරීමේ” නිදහස අඩංගු වන බව එය ප‍්‍රකාශ කරයි. සොයා යාමේ හා ලබා ගැනීමේ අයිතිය නැති විට තොරතුරු බෙදා හැරීමේ අයිතියෙහි තිබෙන්නේ සුළු වැදගත්කමක් පමණක් බව ද දෙවනුව කී ක‍්‍රියාකාරකමේ (යැවීමේ හා ලබා ගැනීමේ) පරිමාණය බෙදා හැරෙන දෙයෙහි පරිමාණය මත ඍජුව ම තීරණය වන බව ද මින් පැහැදිලි ය. වෙනත් වචනවලින් කිව හොත්, අදහස් පළ කිරීමේ නිදහස සඳහා ඇති අයිතිය නමැති කාසියෙහි දෙපැත්තක් ඇත: එනම්, පණිවුඩ නිපදවීම හා ඒවා පරිභෝජනය කිරීම යි. එකක් නොමැති විට මේ දෙකෙන් එකක වත් ප‍්‍රයෝජනයක් නැත.

##
මෙහි සම්පූර්ණ සටහන සදහා පිවිසෙන්න | Full CONCEPT NOTE in Sinhala here | Full CONCEPT NOTE in English(Original) here

WPFD2016 on its website here.