අන්තර්ජාල නිදහස ලෝක පරිමාණව පිරිහෙයි, එහෙත් ක‍්‍රියාකාරීහු පසු නො බසිති

October 3, 2013 දා වොෂින්ටනය මූලස්ථානය කර ගත් ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් වනwww.freedomhouse.org සංවිධානය විසින් නවතම වාර්තාවක් නිකුත් කළේය. ”අභිනව වාර්තාව: අන්තර්ජාල නිදහස ලෝක පරිමාණව පිරිහෙයි, එහෙත් ක‍්‍රියාකාරීහු පසු නො බසිති” (New Report: Internet Freedom Deteriorates Worldwide, but Activists Push Back) නිකුත් කළ එම වාර්තාවේ සදහන් වන්නේ, ‘‘රටවල් 60ක අන්තර්ජාල නිදහස සම්බන්ධ ප‍්‍රමුඛ ප‍්‍රවණතා හඳුනා ගන්නා ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් 2013 ව්‍යාපෘතිය ඒ ඒ රටවල් තක්සේරු කරන්නේ, ප‍්‍රවේශයට පවත්නා බාධා, අන්තර්ගතයට පනවා ඇති සීමා සහ භාවිත කරන්නන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය පදනම් කර ගනිමිනි.

වසරේ වැදගත් ම ප‍්‍රවණතාව වූයේ සුපරීක්ෂාව තරමක් වැඩි වීම යි. හිටපු කොන්ත‍්‍රාත්කාර එඞ්වඞ් ස්නෝඩන් එක්සත් ජනපද ආණ්ඩුවේ රහසිගත සුපරීක්ෂණ ක‍්‍රියාකාරකම් පිළිබඳව වැදගත් ගෝලීය විවාදයක් හට ගන්වද්දීත්, ව්‍යාපෘතියේ දී තක්සේරු කළ රටවල් 60න් 35ක් ම පසු ගිය වසරේ දී සිය තාක්ෂණික හෝ නීතිමය සුපරීක්ෂණ බලතල පුළුල් කර ගෙන ඇති බව ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් 2013 සොයා ගත්තේ ය. විරුද්ධ දේශපාලන අදහස් සහ පුරවැසි ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ තිබෙන රටවල දී මෙවන් නිරීක්ෂණ කටයුතු විශේෂයෙන් ම ගැටලූ ඇති කරයි. සිරගත වීම, වධහිංසාවලට ලක් වීම සහ මරණය පවා අත් විය හැකි ප‍්‍රශ්න කිරීම් අතරතුර දී තම විද්‍යුත් තැපැල් පණිවුඩ සහ වෙනත් සන්නිවේදන තමන් වෙත ගෙන හැර පෑ බව හෝ දේශපාලන ස්වරූපය ගත් නඩු විභාගවල දී ඒවා සාක්ෂි ලෙස යොදා ගත් බව ඒකාධිපතිවාදී රාජ්‍ය කිහිපයක දී ක‍්‍රියාකාරීහු වාර්තා කළහ.‘‘ බව එම වාර්තාව පෙන්වා දෙයි.

පහත පළවන්නේ එම සම්පූර්ණ වාර්තාවේ සිංහල පරිවර්තනයයි.

FOTN 2013_Map copy

පුළුල් සුපරීක්ෂාව ද, වෙබ් අන්තර්ගතය පාලනය කරන නව නීති ද, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අත් අඩංගුවට ගැනීම වැඩි වීම ද නිසා පසු ගිය වසරේ අන්තර්ජාල නිදහස ලෝක පරිමාණව පිරිහී ඇති බව ෆ‍්‍රීඩම් හවුස් October 3, 2013 නිකුත් කළ නව අධ්‍යයනයකින් හෙළිදරව් විය. මතු වෙමින් පවතින තර්ජන පිළිබඳ දැනුවත්කම නැංවීමේ දී ක‍්‍රියාකාරීන් වඩා සාර්ථක වෙමින් සිටින බව සහ අවස්ථා කිහිපයක දී නව මර්දනකාරී පියවරයන් කල් තියා වැළැක්වීමට ඔවුන් උපකාර වී ඇති බව ද ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් 2013 ව්‍යාපෘතිය සොයා ගත්තේ ය.

”බොහෝ රටවල් වාරණ විධික‍්‍රම වශයෙන් තෝරා ගෙන තිබෙන්නේ අවහිර කිරීම සහ ෆිල්ටර් කිරීම. ඒත් අන්තර්ජාලය තුළ කවුරුන් කුමක් කියනවා ද කියා විමසා බලන්නත්, ඔවුන්ට දඬුවම් පැමිණවිය හැකි ක‍්‍රම සොයන්නත් ආණ්ඩු වැඩි වැඩියෙන් කටයුතු කරමින් සිටිනවා,” ෆ‍්‍රීඩම් හවුස් ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සංජා කෙලී පැවසුවා ය. ”සමහර රටවල දී, ෆේස්බුක්හි අදහස් දැක්වීම හෝ බලධාරි ආයතන විවේචනය කරමින් මිතුරෙකු කළ අදහස් දැක්වීමකට කැමැත්ත පළ කිරීම වාගේ සරල කාරණයක් නිසා වුණත් අන්තර්ජාලය භාවිත කරන්නන් අත් අඩංගුවට ගත හැකි යි,” ඈ තව දුරටත් කීවා ය.

රටවල් 60ක අන්තර්ජාල නිදහස සම්බන්ධ ප‍්‍රමුඛ ප‍්‍රවණතා හඳුනා ගන්නා ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් 2013 ව්‍යාපෘතිය ඒ ඒ රටවල් තක්සේරු කරන්නේ, ප‍්‍රවේශයට පවත්නා බාධා, අන්තර්ගතයට පනවා ඇති සීමා සහ භාවිත කරන්නන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය පදනම් කර ගනිමිනි.

වසරේ වැදගත් ම ප‍්‍රවණතාව වූයේ සුපරීක්ෂාව තරමක් වැඩි වීම යි. හිටපු කොන්ත‍්‍රාත්කාර එඞ්වඞ් ස්නෝඩන් එක්සත් ජනපද ආණ්ඩුවේ රහසිගත සුපරීක්ෂණ ක‍්‍රියාකාරකම් පිළිබඳව වැදගත් ගෝලීය විවාදයක් හට ගන්වද්දීත්, ව්‍යාපෘතියේ දී තක්සේරු කළ රටවල් 60න් 35ක් ම පසු ගිය වසරේ දී සිය තාක්ෂණික හෝ නීතිමය සුපරීක්ෂණ බලතල පුළුල් කර ගෙන ඇති බව ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් 2013 සොයා ගත්තේ ය. විරුද්ධ දේශපාලන අදහස් සහ පුරවැසි ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ තිබෙන රටවල දී මෙවන් නිරීක්ෂණ කටයුතු විශේෂයෙන් ම ගැටලූ ඇති කරයි. සිරගත වීම, වධහිංසාවලට ලක් වීම සහ මරණය පවා අත් විය හැකි ප‍්‍රශ්න කිරීම් අතරතුර දී තම විද්‍යුත් තැපැල් පණිවුඩ සහ වෙනත් සන්නිවේදන තමන් වෙත ගෙන හැර පෑ බව හෝ දේශපාලන ස්වරූපය ගත් නඩු විභාගවල දී ඒවා සාක්ෂි ලෙස යොදා ගත් බව ඒකාධිපතිවාදී රාජ්‍ය කිහිපයක දී ක‍්‍රියාකාරීහු වාර්තා කළහ.

ජාතික පරිමාණ විරෝධතා පෙරට ගෙන යාමට සමාජ මාධ්‍යයට පවතින බලය පිළිබඳ භීතිය නිසා අන්තර්ජාල අදහස් ප‍්‍රකාශනය සීමා කරමින් නීති සම්මත කිරීමට ද බොහෝ ආණ්ඩු කඩිනමින් පියවර ගනිමින් සිටී. 2012 මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ, තක්සේරු කළ රටවල් 60න් 24ක් අන්තර්ජාල නිදහසට තර්ජනය කරන නීති හෝ නිර්දේශ සම්මත කර ගෙන ඇත. ඇතැම් රටවල් යම් අන්තර්ජාල භාෂණ මාදිලිවලට අදාළව වසර 14ක් දක්වා වන සිර දඬුවම් පමුණුවයි.

සමස්තයක් ලෙස ගත් විට, වාර්තාවේ දී තක්සේරු කළ රටවල් 60න් 34ක් අන්තර්ජාල නිදහසේ පිරිහීමක් අත්දුටුවේ ය. විශේෂයෙන් ම, වියට්නාමය සහ ඉතියෝපියාව වඩ වඩා නරක අතට හැරෙන මර්දන චක‍්‍රයක නොකඩවා ගමන් කරමින් සිටියේ ය; වෙනිසියුලාව ජනාධිපතිවරණය අතරතුර දී වාරණය ඉහළ නැංවී ය; ඉන්දියාව, එක්සත් ජනපදය සහ බ‍්‍රසීලය යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් තුන ගැහැටකර පිරිහීම්වලට මුහුණ පෑවේ ය.

අයිස්ලන්තය සහ එස්තෝනියාව වැඩි ම අන්තර්ජාල නිදහසක් සහිත රටවල් ලැයිස්තුවේ ඉහළට ම නැංගේ ය. ලකුණු 100ක පරිමාණයක් අනුව ගත් කල එක්සත් ජනපදය සමස්ත ලකුණු ප‍්‍රමාණය 5කින් පහත වැටුණු අතර, ඊට වැඩි වශයෙන් හේතු වූයේ මෑතක දී හෙළිදරව් වුණු සුපරීක්ෂණ ක‍්‍රියාකාරකම් ය. එහෙත්, එය තව මත් තිබෙන්නේ විමසුමට ලක් කළ ඉහළ ම රටවල් පහ අතර ය. අන්තර්ජාල නිදහස සම්බන්ධයෙන් ගත් විට චීනය, කියුබාව සහ ඉරානය පිට පිට දෙවන වසරටත් වඩාත් ම මර්දනකාරී රටවල් බව සොයා ගැනිණ.

වඩාත් ම පොදුවේ යොදා ගැනෙන අන්තර්ජාල පාලන මාදිලි 10ක්

ෆ‍්‍රීඩම් ඔන් ද නෙට් 2013 ව්‍යාපෘතිය, තක්සේරු කළ රටවල් 60 දී වඩාත් ම පොදුවේ යොදා ගැනෙන අන්තර්ජාල පාලන මාදිලි 10 ප‍්‍රකාශයට පත් කළේ ය.

1. අවහිර කිරීම සහ ෆිල්ටර් කිරීම: තක්සේරු කළ රටවල් 60න් 29ක බලධාරි ආයතන පසු ගිය වසරේ දී ඇතැම් දේශපාලනික සහ සමාජීය අන්තර්ගතයන් අවහිර කළේ ය. නරක ම අපරාධකාරයන් වූයේ චීනය, ඉරානය සහ සෞදි අරාබිය යි. එහෙත්, දකුණු කොරියාව සහ ඉන්දියාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සිදු වුණු ෆිල්ටර් කිරීම් ද දේශපාලන ස්වභාවයක් ගත් වෙබ් අඩවි කෙරෙහි බලපෑවේ ය. ජෝර්දානය සහ රුසියාව, පසු ගිය වසරේ දී අවහිර කිරීම තීව‍්‍ර කළේ ය.

2. පාලන තන්ත‍්‍රය විවේචනය කරන්නන්ට එරෙහි සයිබර් ප‍්‍රහාර: අඩු ගණනේ රටවල් 31ක විරුද්ධ පක්ෂ සාමාජිකයන් සහ ක‍්‍රියාකාරීහු පසු ගිය වසරේ දී දේශපාලනික අවශ්‍යතා මත සිදු කළ සයිබර් ප‍්‍රහාරවලට මුහුණ දුන්හ. දේශපාලනික ස්වභාවයේ සිදුවීම්වල දී මෙවැනි ප‍්‍රහාර විශේෂයෙන් ම සුලබ වේ. උදාහරණයක් ලෙස, මලයාසියාවේ සහ වෙනිසියුලාවේ මැතිවරණ පූර්ව සමයන්හි දී ජනප‍්‍රිය ස්වාධීන මාධ්‍යවල වෙබ් අඩවි DDoS ප‍්‍රහාරවලට නැවත නැවතත් ගොදුරු විය.


3. නව නීති සහ අත් අඩංගුවට ගැනීම්:
අන්තර්ජාලය තුළ ඇතැම් දේශපාලනික, ආගමික හෝ සමාජීය භාෂණ මාදිලි තහනම් කරන හෝ උල්ලංඝනයන්ට තුඩු දිය හැකි අයුරින් ජාතික ආරක්ෂාවට අදාළව නොපැහැදිලි සීමා කිරීම් පනවන නීති සම්මත කර ගෙන ඇති රටවල් සංඛ්‍යාව එන්න එන්න ම වැඩි වේ. අන්තර්ජාල අන්තර්ගතය හේතු කොට ගෙන එය භාවිත කරන්නන් අත් අඩංගුවට ගෙන ඇති රටවල් සංඛ්‍යාව 28කි. විරුද්ධ දේශපාලන මතධාරීන්ට හැරුණු විට රඳවා ගැනුණවුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක්, බලධාරි ආයතන හෝ ප‍්‍රමුඛ ආගම විවේචනය කරමින් සමාජ මාධ්‍යයන්හි අදහස් දැක්වීම් කළ සාමාන්‍ය ජනයා වෙති.

4. ආණ්ඩුවලට හිතපක්ෂපාතී ගෙවීම් ලබන අදහස් දක්වන්නෝ: ආණ්ඩුවේ විරුද්ධවාදීන් අපකීර්තියට පත් කරමින්, ප‍්‍රචාර පතුරමින් සහ තමන් සම්බන්ධ බව නොපිළිගෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ආරක්ෂා කරමින්, ගෙවීම් ලබන අදහස් දක්වන්නන් අන්තර්ජාල සාකච්ඡා මෙහෙයවීම අත්දුටු මුළු රටවල් සංඛ්‍යාව 22කි. මෙම උපාය යොදා ගන්නා රටවල් අතර පෙරමුණේ සිටින්නේ චීනය, බහරේනය සහ රුසියාව යි. බෙලාරුස් සහ මලයාසියාව වැනි රටවල ද එය වඩ වඩා පොදු දෙයක් බවට පත් වෙමින් ඇත.

5. කායික ප‍්‍රහාර සහ ඝාතනය: රටවල් 26ක දී, අන්තර්ජාල අදහස් දැක්වීම් හේතුවෙන් අඩු ගණනේ එක් පුද්ගලයෙක් වත් ප‍්‍රහාරයට, ගුටි කෑමට හෝ වධහිංසාවලට ලක් විය; රටවල් 5ක දී, එක් පුද්ගලයෙක් හෝ මාරක විපත්වලට මුහුණ පෑවේ ය. මෙම ප‍්‍රහාර සහ ඝාතන බොහෝ විට සිදු වූයේ මානව අයිතිවාසිකම් උල්ලංඝන හෙළිදරව් කරමින් අන්තර්ජාලයෙහි අදහස් දැක්වීමට පලි ගැනීමක් වශයෙනි. සිරියාවේ දී අන්තර්ජාල මාධ්‍යකරුවන් දුසිම් ගණනක් ඝාතනය කරන ලද අතර, මෙක්සිකෝවේ දී කිහිප දෙනෙක් මරා දමන ලදහ. ඊජිප්තුවේ දී, ෆේස්බුක් හවුල් පරිපාලනය කළවුන් කිහිප දෙනෙකු පැහැර ගෙන ගොස් ගුටි බැට දෙන ලද අතර, ආරක්ෂක හමුදා විරෝධතා අතරතුර දී පුරවැසි මාධ්‍යවේදීන් ඉලක්ක කර ගත්තේ ය.

6. සුපරීක්ෂාව: අපරාධවලට සහ ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරනු පිණිස ඇතැම් සන්නිවේදනයන්ට බාධා කිරීමට සිදු විය හැකි නමුත්, සුපරීක්ෂණ බලතල වැඩි වැඩියෙන් දේශපාලන අරමුණු සපුරා ගනු පිණිස අයුතු ලෙස යොදා ගැනේ. පසු ගිය වසරේ දී රටවල් 35ක ආණ්ඩු සිය තාක්ෂණික හෝ නීතිමය සුපරීක්ෂණ බලතල ඉහළ නංවා ගත්තේ ය.


7. ඉවත් කිරීමට සහ මකා දැමීමට කෙරෙන ඉල්ලීම්:
ආණ්ඩුවලට හෝ පුද්ගලයන්ට නීති විරෝධී අන්තර්ගතයන් ඉවත් කරන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටිය හැකි ය. සාමාන්‍යයෙන් එසේ කළ හැකි වන්නේ අධීකරණ අධීක්ෂණය යටතේ ය. එහෙත් රුසියාව සහ අසර්බයිජානය වැනි රටවල් ගණනාවක දී, උසාවි මග හැර යමින් සහ නීතිමය පියවර ගන්නා බවට හෝ වෙනත් පලි ගැනීම් කරන බවට තර්ජනය කරමින් ඉවත් කිරීම සඳහා ඉල්ලීම් කිරීම ඵලදායක වාරණ මෙවලමක් බවට පත්ව ඇත. තොරතුරු මකා දැමීම ප‍්‍රතික්ෂේප කළ හොත් රැකියා අහිමි කරන බවට හෝ රඳවා තබා ගන්නා බවට බ්ලොග්කරුවන්ට තර්ජනය කරනු ලැබේ.

8. සමාජ මාධ්‍ය සහ පරිගණකමය සන්නිවේදන වැඩ සටහන් අවහිර කිරීම: පසු ගිය වසරේ රටවල් 19ක්, යූටියුබ්, ට්විටර්, ෆේස්බුක් හෝ වෙනත් පරිගණකමය තොරතුරු සන්නිවේදන තාක්ෂණ වැඩ සටහන් තාවකාලිකව හෝ ස්ථිරව අවහිර කළේ ය. නිරීක්ෂණය කිරීම වඩා දුෂ්කර නිසා හෝ ස්ථාපිත විදුලි සංදේශ සමාගම්වල ආදායමට තර්ජනයක් වෙමින් පවතින නිසා ස්කයිප්, වයිබර් (Viber) සහ වට්ස්ඇප් (WhatsApp) වැනි සන්නිවේදන සේවා ද ඉලක්ක බවට පත් විය.


9. අතරමැදි බැරකම:
අනෙකුන් අන්තර්ජාලයෙහි දක්වන අදහස් සම්බන්ධයෙන් නීතිමය වගකීම දැරීමට අන්තර්ජාල සේවා සම්පාදකයන්, සත්කාරක සේවාවන්, වෙබ් අඩවිවල වගකිව යුත්තන් හෝ වෙබ් සාකච්ඡා මණ්ඩප මෙහෙයවන්නන් වැනි අතරමැදියන් බැඳ තබා ඇති රටවල් සංඛ්‍යාව 22කි. චීන සමාගම් වසරකට පණිවුඩ දසමිලියන ගණනක් නිරීක්ෂණය කොට මකා දමනු පිණිස සමස්ත ඒකකයක් ම කුලියට ගනියි.

10. සේවාවේ ගෙල මිරිකීම හෝ සේවාව වසා දැමීම: ප‍්‍රාදේශීය වශයෙන් හෝ ජාතික පරිමාණව, අන්තර්ජාල හෝ ජංගම දුරකථන ප‍්‍රවේශය කපා හැරීමට හෝ හිතාමතා මන්දගාමී කිරීමට (ගෙල මිරිකීමට) විදුලි සංදේශ යටිතල පහසුකම් පාලනය කරන ආණ්ඩුවලට හැකියාව ඇත. පසු ගිය වසරේ සිරියාවෙහි වසා දැමීම් කිහිපයක් ම සිදු වුණු අතර, දේශපාලන සංසිද්ධීන් හෝ සමාජ නොසන්සුන්තා මධ්‍යයේ චීනයේ, ඉන්දියාවේ සහ වෙනිසියුලාවේ ඇතැම් ප‍්‍රදේශවල සේවා තාවකාලිකව අත්හිටුවන ලදි.

A Global Assessment of Internet and Digital Media | Internet Freedom Map 2013

Freedom-of-teh-Net EDD