අලූත්ම ‘සතුරා’ Face book

2011 මාර්තු මස මුල් සතියේ ලිබියාවේ පළවූ විකල්ප මාධ්‍ය ධාරාවන් තුල Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි පිළිබද, ලිබියාවේ එවකට ඒකාධිපති පාලකයෙක් වූ ගඩාෆිගේ මාරාන්තික බිය සහ වෛරය පිළිබද බොහෝ කාටූන් ඇතුලූ විවිධ ප‍්‍රකාශනයන්ගෙන් විශේෂයෙන් වෙබ් අවකාශය පිරී ගියේ ය. www.cartoonmovement.com නැමති වෙබ් අඩවිය Face book වැනි සමාජ ජාල පිළිබද ගඩාෆි තුල වූ වෛරය කෙතරම් ද යැයි ප‍්‍රකාශණය කළේ, ‘I will kill you, Face book’ වැනි කාටූන් නිර්මානය කරමිනි. ඒ වන විට ලිබියාවේ ඒකාධිපති පාලකයා වූ ගඩාෆිට විරුද්ධව එරට ජනයා විසින් ආරම්භ කරන ලද ජන අරගලය උද්වේගකර අවස්ථාවකට පැමිණ තිබිණි. එම අරගලය නිසා කෝපයට පත් ගඩාෆි සිය මුග්ධ හමුදා බලය යොදවා එරට ජනයා සිය ගණනින් ඝාතනය කිරීමට පටන් ගැනීම නිසා ජාත්‍යන්තර පොලීසිය ද ගඩාෆිට විරුද්ධව නිවේදනයක් නිකුත් කළේ ය. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද ගත් පියවරයන් නිසා තත්ත්වය වඩා සංකීර්ණ විය.[Cartoon Credit:www.cartoonmovement.com]

කෙසේ නමුත් මේ බිහිසුනු, ඛේදනීය තත්ත්වය හමුවේ එරට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය මුනිවත රකිද්දී එයට විකල්පව ක‍්‍රියාත්මක මාධ්‍යන් ජන ඝාතක ගඩාෆි එළවා දැමීම සදහා විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි, බ්ලොග් වැනි අන්තර්ජාල මාධ්‍ය අවකාශයන් හරහා අති ප‍්‍රභල පුරවැසි මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයක් ගොඩනගමින් තිබිණි. පසුව ඒකාධිපති පාලනයට විරුද්ධව ලිබියාවේ ජනයා ගෙන ගිය අරගලය කිසියම් ප‍්‍රමාණයකට අවසන් වූයේ, වසර 40කට වඩා ඒකාධිපති පාලනයක් ගෙන ගිය කර්නල් මුවම්මර් ගඩාෆි 2011 ඔක්තෝබර් 20 වෙනිදා ලිබියාවේ, සිරිට් නගරයේ කානුවක් පල්ලේ සිය අවසන් හුස්ම හෙළමින් සිටි අයුරු ලොව පුරා දර්ශණය වීමෙන් අනතුරුවය. (ගඩාෆි ‘ඝාතනය’ කිරීම පිළිබද ලියුම්කරුට වෙනම විවේචනයක් ඇත)

දැන් ගඩාෆි මිය ගොස් මාස 21කට වැඩිය. ගඩාෆි මිය යෑමට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කුඑපග මිතුරෙක් ව සිටියේ ය. එය කෙතරම් ද යත් ගඩාෆි, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කරට අත දමාගෙන සිටින අයුරු දිස්වෙන ඡායාරූපයක් මාධ්‍යයේ පළ වී තිබිණි. ඒ තරමටම ‘අඹ යාඑකමක්’ ඒකාධිපති ගඩාෆි සහ රාජපක්ෂ ජනාධිපතිවරයා අතර දිස්විය.

කෙසේ නමුත් අවසන් කාලයේ ඒකාධිපති ගඩාෆි ගේ බිහිසුනු වෛරයට පාත‍්‍ර වූයේ එරට වීථි බට ජනයා මෙන්ම නව තාක්ෂනය හා බැදි අන්තර්ජාල මාධ්‍යන්ය. විශේෂයෙන් Face book ,TWITTER, වැනි සමාජ ජාල වෙබ් අඩවි Blogs සහ web අඩවි ඔහුගේ පරම සතුරන් බවට කල්පනා කරන්නට විය. එයට හේතු වූයේ ඔහුගේ ඒකාධිපති ස්වරූපය මුලූ ලොව හමුවේ, ඔහුගේ මූනිස්සම් වලට වඩා වැඩි වේගයෙන්, පුරවැසි මාධ්‍යකරුවන් විසින් වාර්තා කරමින් සිටීම ය. ඒවා ඔහුගේ හුරතලූන් බවට පත් කර ගැනීමටත්, වාරණය කිරීමටත් ඔහුට හැකියාවක් නොතිබුණු තරම් ය. එබැවින් ඔහු එවැනි මාධ්‍ය මෙන්ම ඒවා හසුරුවන පුරවැසියනුත් සලකන ලද්දේ සිය පරම හතුරන් ලෙස ය.

දැන් මෙම සමාජ ජාල වෙබ් අඩවි ඇතුලූ අන්තර්ජාල ප‍්‍රකාශණයන් ගැන රාජපක්ෂ පාලනයේ මිතුරෙකු වූ ඒකාධිපති ගඩාෆිට තිබූ වෛරය සහ බිය වැනි, බියක් ලංකාවේ ද මතුවෙමින් තිබේ.

එය ආසන්න ලෙස කරළියට පැමිණියේ, පසුගිය 13වනදා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවයාගේ, සහෝදරයෙක් වන ගෝඨාබය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්වරයා සිදු කල දේශණයකිනි.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් Face book ,TWITTER වැනි සමාජ ජාල වෙබ් අඩවි ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් බව සෘජුවම ප‍්‍රකාශ කර තිබණි. එයින් ඔහු හගවන්නේ රාජපක්ෂ පාලනයට මෙම අන්තර්ජාල අවකාශයන් තර්ජනයක් විය හැකි බවයි.

එසේම ඔහුගේ දේශණයේදි ටියුනීසියාව, ලිබියාව වැනි රටවල් වල ඇති වූ වෙනස්කම් ඔහු හගවන්නේ එම රටවලවල ආණ්ඩු ‘අස්ථාවර’ කළ අර්ථයෙනි.

කෙසේ නමුත් ගඩාෆිගේ ලිබියාව, රාජපක්ෂ පාලනයේ මිතුරෙක් වුවත් ශිෂ්ඨ සම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන් ලිබියානු පාලනය හැදින්වූයේ එකාධිපති වියරු ආඥාදායක පාලනයක් ලෙසයි. එම පාලනය වෙනස් කිරීමට එරට ජනයා ගෙන ගිය අරගලය ඒකාධිපති ආණ්ඩුව ‘අස්ථාවර’ කිරීමක් නොවෙයි, ඊට එහා ගොස් ඒකාධිපතිත්වය පරාජය කිරීමට ගත් වෑයමක් බව රාජපක්ෂලාට තේරුම් ගැනීමට හැකි වුවත් නොතේරුනා සේ සිටීමට උත්සහා කිරීම (නමුත් ගඩාෆිගෙන් පසු ලිබියාව සම්බන්ධයෙනුත් ලියුම්කරුට විවේචනයක් තිබේ) තුලින්ම මතු වන්නේ එවකට ලිබියානූ පාලනය වැනි පාලනයන්ගේ බොහෝ ලක්ෂණයන් අද වන විට ලාංකීය දේශපාලනය තුළ වර්ධනය වෙමින් ඇති බව නොවේ ද? එය කිසියම් සැලකිය යුතු අන්දමකට ලංකාව සම්බන්ධයෙන් වන, නව තාක්ෂණය හා බැදි අන්තර්ජාල මාධ්‍ය භාවිතාවන් පිළිබදව සිය ‘නොරිස්සුම්’ ස්වාභාවය ලේකම්වරයාගේ සිය ප‍්‍රකාශයෙන් ද පෙන්නුම් කරන අතර එය ඉදිරියේදී ලංකාවේ ප‍්‍රකාශණ නිදහස නැවත වරක් අලුත් වටයික් තර්ජනයට ලක් කිරීමක් ලෙසද සැලකීම වටී.

ජාතික ආරක්ෂාව, ජනප‍්‍රියත්වය සහ බිය

එදා ගඩාෆිට අනුව ලිබියාවේදී දේශද්‍රෝහී ලෙස හැසිරී ඇත්තේ පුරවැසි මාධ්‍ය කරුවන් සහ සමාජ ජාල වෙබ් අඩවි හා බැදි අන්තර්ජාල මාධ්‍ය ක‍්‍රියාවලීන්ය. එසේ නොමැතිව ගඩාෆි විසින් වසර ගණනාවක් ගෙන ගිය ඒකාධිපති මිලිටරි, දූෂිත ඥාති සංග‍්‍රහවාදී ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලනය නොවේ. එම පාලනය කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වුවත් ගඩාෆිට අනුව එය දේශපේ‍්‍රමී විය. එබැවින් එම ඊනියා දේශපේ‍්‍රමීත්වයට හානිකරවන එකාධිපති පාලනයේ යාථාර්තය ලොව හමුවේ තැබූ පුරවැසියන් මෙන්ම පුරවැසි මාධ්‍ය කරුවන් ද ඔහුගේ පරම සතුරන් ලෙස හැගීය. ඔවුන් ජාතික ආරක්ෂාවට ත්ර්ජනයක් ලෙස එදා ඒකාධිපති ගාඩාෆි සිතීය. එබැවින් එම මාධ්‍යන් විනාශ නොකර ලිබියාවේ පාලනය කර ගෙන යාමට නොහැකි බව සිතූ ගඩාෆි ඔවුන් මර්දනය කිරීමට පුලුවන් සෑම පියවරක් ම ගත්තේ ය.

දැන් ලංකාවේදී ආරක්ෂක ලේකම්වරයාත් පවසන්නේ සමාජ ජාල වෙබ් අඩවි ඔහු හිතන ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් කියා ය. එයින් ‘දිනාගත් නිදහස’ අහිමි කළ හැකි යැයි ඔහු පවසන දෙයින් වැටහෙයි. එසේම ‘අරාබි වසන්තය’ වැනි අත්දැකීමක් ලංකාව තුළ සිදු වීමේ අවකාශය අවම බවත් ඊට හේතුව ‘ඡන්ද බහුතරයක්’ බුක්ති විදින ‘අතිශයින් ජනප‍්‍රිය’ දේශපාලන නායකත්වයක් පවතින ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ රාජ්‍යයක් වීම නිසා බව ලේකම්වරයා අදහසයි.

නමුත් ලෝකයේ බොහෝ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයන් ගෙන ගිය, ගෙන යන නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් සිතූවේ බහුතර ඡන්දයක් ඇති සෑම විටම ඒ ‘ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය’ එයින් ආරක්ෂිත වනවා යනුවෙනි. නමුත් ඒ සෑම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක‍්‍රමයක්ම මැතිවරණ පවත්වා ඇත්තේ නිදහස් හා සාධාරණ ක‍්‍රමයකට නොවේ, නැතිනම් මැතිවරණ පවත්වා නැති අතර, ඇතැම් විට පැවැත් වුවත් ඒවා නිසි කලට වේලාවට පවත්වා නැත. එසේම ඒවාට සිය මිලිටරි බලය හා පවතින ආණ්ඩුවේ සියලූ සම්පත් සෘජු ලෙසම යොදා ගෙන ඇත. එයින් ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය වැඩි අගයක් ගත්ත ද සත්‍ය එය නොවේ. එය ආරාබිය පුරා පැණ නැගි ඇති අරගලවල ඉතිහාසය පිරික්සීමේදී මනාවට ඉස්මතු වෙයි. එබැවින් එම රාජ්‍යයන් ඉතා වේගයෙන් තම බලය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සිය ආණ්ඩුකරනය සිදුකරන ලද්දේ ඒකාධිපති ස්වරූපයකටය. එම නිසා එම ඒකාධීපති පාලකයින් සැබවින්ම ‘ජනප‍්‍රිය’ වෙයි. (‘ජනප‍්‍රිය’ බවට ලංකාවේ ආසන්න උදාහරණයක් ගතහොත්, වර්තමාන ආණ්ඩුවේ වාස් ගුණවර්ධන නැමති නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වෙලාවේ ‘ජනප‍්‍රිය’ වී ඇත. ලංකාවේ සියලූ මාධ්‍යවල ඔහු මුල් පිටුවේම ඉන්නා නිසා එතෙක් ඔහුගේ මේ සියලු බිහිසුනු නීතිවිරෝධි වැඩ නොදන්නා බව පෙන්වූ ආණ්ඩුවේ ‘බබාලා’ පවා දැන් ඔහු හොදින් දන්නා සේයකි. ඒ අන් කිසිවක් නිසා නොව පවසන පරිදි කුලියට මිනිසුන් මැරීමට සම්බන්ධවී ඇති බවට ඇති චෝදනා නිසා ය. කුලියට මිනී මැරීමට සම්බන්ධ යැයි චෝදනා ලබා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සිටින රටක ඔහු පමණක් නොව එම රට ද ලෝක ප‍්‍රසිද්ධ වෙයි. ඒ කුලියට මිනී මරාය. එබැවින් ජනප‍්‍රියත්වය පිළිබදව එවනි මානයනුත් තබෙන බව ශිෂ්ට සමාජවල පුරවැසියන් හොදින් දන්නේ ය.)

එම නිසා එම ‘ජනප‍්‍රියත්වය’ සහ ඊනියා ‘ජාතික ආරක්ෂාවට’ හානි කරන ඕනෑම ක්ෂේත‍්‍රයක් තම ප‍්‍රධාන සතුරා බවට සිතමින් ඒවා මර්දනය කිරීමට එවැනි පාලකයින් පසුබට නොවෙයි. එය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක‍්‍රමයක උපන්ගෙයි ලක්ෂණයකි. ඒය එසේ වන්නේ, බැටලූ හමකින්, සිය නග්න දේහය වසාගෙන සිටින වෘක්කයාගේ හැසිරීම ඉතා වේගයෙන් ලොව හමුවේ තබමින් එම වෘක්කයාට අභියෝග කරන ප‍්‍රධාන මාධ්‍ය ලෙස අදවන විට අන්තර්ජාලය හා බැදි බොහෝ මාධ්‍ය සිය භූමිකාව ඉතාමත් ප‍්‍රභල අන්දමින් සිදුකරමින් සිටින බැවිනි. එවැනි වෘක්කයන්ට එරෙහිව, වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් සිය මාධ්‍ය භාවිතාව හසුරුවන එවැනි අන්තර්ජාලය හා බැදි මාධ්‍ය අවකාශයන් මර්දනය කිරිම එතරම් පහසු කටයුත්තක් නොවන නිසා ඔවුන් තවත් බියට පත් ව සිටිති. තම හුරතලූන් බවට පත්කර ගැනීමට නොහැකි වූ තැන ඔවුනට සහ එම නව තාක්ෂණික ක‍්‍රමවේදයන්ට මාරාන්තික ලෙස වෛර කිරීමට පටන් ගනියි. අවසානයේදී දේශපේ‍්‍රමය, ජාතික ආරක්ෂාව, නිදහස වැනි තමන් පෙනී නොසිටින, එහෙත් පෙනී සිටිනවා යැයි ජනතාවට පෙන්වන ඊනියා හුදු වචන මාලාවකින් ජනයාගේ විරෝධය මතු කර ගැනීමට උත්සහ දරයි. එයත් මාධ්‍ය මර්දනය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, ඥාති සංග‍්‍රහවාදී බව සමග දූෂීත පාලන ක‍්‍රමයන් ගෙන යන පාලකයින්ගේ තවත් එක් උපක‍්‍රමයකි. එයත් අන් කිසිවක් නිසා නොව තමන් මෙතෙක් පොරවා ගෙන සිටින බැටලූ හම ඉරා දමුවහොත්, සත්‍ය ලෙසම සිටිනුයේ බැටලූවෙකු නොව වෘක්කයෙකු බව ජනතාව හදුනා ගන්නා නිසාය.

එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි අප වැනි රටවලින් ආණ්ඩුවලින් වචනාර්තයෙන්ම ඇසෙන්නේ ඒ නිසාය.

by:www.vikalpa.org